“තාරණී“ – Article

“තාරණී“ – ඔබ සඳහාම නිර්මාණය කළ …

ලිපි පෙළගැස්ම

  1. මිනිස් මොළය ගැන නොදත් කරුනූ….

  2. විෂය කරුණු මතක තබා ගන්නේ කොහොම ද?

  3. කොතරම් පාඩම් කලත් අමතක වෙනවද? මතකය වර්ධනය කරගන්න කැමතිද? මෙන්න ඒ සඳහා ක්‍රම සහ විදි….

  4. පාඩම් කරන දේ අවශ්‍ය වේලාවට මතක් කරගන්න මෙහෙම කරමු….

  5. පාඩම් කරන අයට Mind Maps

  6. දකුණු මොළයේ සහ වම් මොළයේ ක්‍රියාකාරිත්වය හඳුනාගන්න

1

මිනිස් මොළය ගැන නොදත් කරුනූ….

  1. මොලයේ සිට අවයව වලට සහ අවයව වල සිට මොලයට ස්නායු අවේග පැයට    සැතපුම් 170-270 තරම් වේගයෙන් ගමන කරයි.
  2. සංගීතය අපගේ මොලයේ හැකියාවන් සහ සංවිධානාත්මක බව ඉහල නංවයි.
  3. ශරීරයේ උණුසුමෙන් 40% පමණ පමානයක් හානි වෙන්නේ හිසින්. එක නිසා  සීතල වෙලවාට ඔලුව ආවරණය කර ගන්න අමතක කරන්න එපා.
  4. අඩු නින්ද අපගේ අලුත් මතකයන් ඇති කිරීමට බාධා ඇති කරයි. ඒක නිසා මතක ඇතුව දවසට පමාණවත් නින්දක් ලබා ගන්න.
  5. අපගේ මොලය මගින් වොට් 10ක බල්බය පමාණයේ බලයක් ඇති කරයි.(නිදාගෙන සිටින විටදී පවා.)
  6. අපගේ මොලයට Britannica විශ්ව කෝෂයේ ඇති කරුණු පමාණය මෙන් 5ස් ගුණයක කරුණු පමාණයක් මතක තබා ගත හැක.
  7. මිනිස් මොලයේ මතක දාරිතාව නිශ්චිත වශයෙන් පැවසිය නොහැකි වුවද සාමන්යෙන් මොනිස් මොලයට terabyte 3 සිට 1000 දක්වා මතක දාරිතාවක් ඇත.
  8. අපගේ රුධිරයට ඇතුළු වන ඔක්සිජන් පමාණයෙන් 20% පමණ භාවිතා කරන්නේ මොලය මගිනි.
  9. දහවල් කාල්යෙදීට වඩා රාත්*රි කාලයේදී මොලයේ ක්*රියාකාරිත්වය අධික වේ. (හේතුව තාම රහසක්)
  10. අපගේ මොලයට එහි වේදනාව නොදැනේ. මොලයේ වේදනා පතිගරාහක නොමැති බැවින් එහි වෙදානාවක් නොදැනේ.
  11. අපගේ මොලයෙන් 80% පමණ ඇත්තේ ජලය වේ.
    මොලයට තප්පර 8-10ක් පමණ රුධිරය නොලැබුණහොත් අපට සිහිය නැතිවේ. මොලයට ඔක්සිජන් නොමැතිව විනාඩි 4-6 පමණ ජීවත් විය හැක.නමුත් මෙලෙස විනාඩි 5-10 පමණ තිබුනොත් ස්ථීර ලෙස මොලයට හානේ සිදුවේ.
  12. ඇහැනුමක් යන විටදී මොලයට යන රුධිර පමාණය වැඩි වෙයි.
  13. අපට අපව කිති කවා ගත නොහැක. මෙයට හේතුව මොලය විසින් අපගේ ස්පර්ශය සහ වෙනත් පුද්ගලයෙකුගේ ස්පර්ශය පැහැදිලිව වටහා ගන්න බැවිනි.
  14. අපි ඇසිපිය ගසන සෑම වෙලාවකම මොලය එයට සම්බන්ද වී සියලුම දෑ පතිදීප්තව තබා ගනී. මේ නිසා ඇසිපිය ගසන අවසතාවලදී ලෝකය අඳුරු වී නොයයි.

පිටුවේ ආරම්භයට

2

විෂය කරුණු මතක තබා ගන්නේ කොහොම ද?


අවධානය

මතකය වර්ධනයට අත්‍යවශ්‍ය දෙයක්‌ වන්නේ අවධානයයි. ඔබ යම් කරුණක්‌ ඉගෙන ගන්නා විට එය පූර්ණ අවධානයෙන් කරන්න. එවිට එය ග්‍රහණය පහසු වේ. පසුව පාඩම් කරන විට ද අවධානයෙන් කරන්න. අවධානයට බාධා එන දේ ඉවත් කරන්න, හෝ ඔබ ඉන් ඉවත් වන්න. ඔබ සාලයේ පාඩම් කරන විට මල්ලී රූපවාහිනිය දමන්නේ නම් කාමරයට ගොස්‌ පාඩම් කරන්න. සමහරුන්ට රූපවාහිනි නරඹමින් වුව ද පාඩම් කරන්නට පුළුවන. ගණන් හැදීම වැනි දෙයට මෙමගින් බාධාවක්‌ නැති වුව ද ගැඹුරු මතකයක්‌ වර්ධනයට බාධාවකි.

මැරතන් දිවීමෙන් වළකින්න

සමහරුන් පාඩම් කිරීම අරඹන්නේ විභාගයට සතියක්‌ තිබිය දී ය. එය හරියට ම මැරතන් දිවීමක්‌ බඳු ය. මැරතන් දිවීමෙන් සාර්ථක වන්නෝ ද සිටිති. එහෙත් මෙය අවදානමක්‌ සහිත දෙයකි. අවදානමක්‌ ගන්නේ කුමකට ද? එදිනෙදා වැඩ එදිනෙදා කරන්න.

කාලය කළමනාකරණය කරගන්න

එක්‌ එක්‌ විෂයයට කාලය බෙදා ගන්න. විභාගය ළං වූ විට විෂය බාහිර කටයුතුවලින් හැකිතාක්‌ ඈත් වන්න. බසයේ පැසලට යන කාලය තුළ පවා පාඩමේ යෙදෙන්න. බසයේ යන එන කාලය, බස්‌ නැවතුමේ රැඳී සිටින කාලය වැනි කෙටි කාල සිල්ලර කාලය ලෙස හැඳින්වේ. මේ සිල්ලර කාලයෙන් ප්‍රයෝජන ගන්න. කුඩා කාඩ්පත්වල සූත්‍ර හා වැදගත් දත්ත ලියා තබාගෙන ඒවා පාඩම් කිරීම මේ කාලවල දී කළ හැකියි.

උගන්වන්න

තමාට මතක තබාගන්නට තරමක්‌ අමාරු කරුණු මතක තබා ගැනීමේ හොඳ ම ක්‍රමය වන්නේ එය උගන්වන්නට උත්සාහ දැරීමයි. හැබැයි මේ කරුණු නිවැරැදිව අවබෝධ කරගෙන තිබීම අත්‍යවශ්‍යයි. මෙය නිල ඉගැන්වීමක්‌ නො වෙයි. එක්‌කෝ මිතුරකට ඇසෙන්නට පාඩම් කියවිය හැකියි. නැතිනම් තනි ව ම දේශනයක්‌ පැවැත්විය හැකියි. කරුණු හඬනඟා කීමේ දී මතක තබා ගැනීම පහසුයි.

පාඩම් පටිගත කරන්න

අමතක වන දෑ මතක තබා ගන්නට සුදුසු ක්‍රමයක්‌ ලෙස පටිගත කිරීම හැඳින්විය හැකියි. අමතක වන විෂය කරුණු ඔබේ හඬින් රෙකෝඩ් කර ඊට නැවත නැවත සවන් දෙන්න. ඔබේ හඬ නැතුව ඔබ ප්‍රිය කරන වෙනත් හඬකින් මෙය පටිගත කර ගන්නට ද පුළුවන. ඇතැම් විෂයයන් සඳහා CD යනාදිය නිකුත් වී ඇති අතර ඔබට පහසුකම් ඇති නම් ඒවා පාවිච්චි කරන්න.

පාඩම කරන තැන/ඉරියව්ව ගැන හිතන්න

ඔබ පාඩම් කරන තැන පවා මතකය කෙරෙහි බලපායි. ඔබට පහසු සුදුසු තැනක පාඩම් කරන්න. දන් ඔබ පාඩම් කරන දේ මතක සිටින්නේ නැත්නම් නිකමට මෙන් පාඩම් කරන තැන වෙනස්‌ කර බලන්න.

විභාගයට අවශ්‍ය ම දේ සොයාගන්න

ඇතැම් ළමයි එක විෂයක්‌ සඳහා පෞද්ගලික පංති දෙක තුනකට ම සහභාගි වෙති. එවිට පාසලේ ඉගැන්වීමත් සැලකූ කල එක ම තොරතුර සම්බන්ධයෙන් දිශානති හතරකින් පමණ කරුණු ගලා එයි. මෙය එක්‌ අතකින් හොඳ ය. මන්ද යත් දැනුම වැඩි වන බැවිනි එහෙත් ඇතැම් විට මෙසේ එක ම දේ ගැන විවිධ අය කියන දේ අසන්නට යැමෙන් ගැටලු ද මතු වේ. ඇතැම් පෞද්ගලික පංතිවල විෂය නිර්දේශයට ඔබ්බෙන් වූ (විශ්වවිද්‍යාල මට්‌ටමේ දේ පවා) උගන්වන්නට ඉඩ තිබේ. ඒවා පාඩම් කරගන්නට යැම කාලය නාස්‌ති කිරීමකි. එහෙයින් අවශ්‍ය ම දේ පමණක්‌ දැනගෙන පාඩම් කරන්න.

පැරණි ප්‍රශ්න පත්‍ර උත්තර හා ලකුණු දීමේ ක්‍රම සොයා ගන්න

අවුරුදු 8ක පමණ ප්‍රශ්න පත්‍ර සොයාගන්න. මේවා බැලීමෙන් ඔබට උත්තර පමණක්‌ නො ව ලකුණු දීමේ ක්‍රම ගැන ද අදහස්‌ ලද හැකි ය. ප්‍රශ්නෝත්තර පොත්වල බෙහෝ විට ලකුණු දීමේ ක්‍රමය සඳහන් වේ. පොත් මිල දී ගැනීමේ දී ලකුණු දීම ගැන ද විස්‌තර ඇතුළත් ප්‍රශ්නෝත්තර කෘති සොයාගන්න. පැරැණි ප්‍රශ්න පත්‍ර බැලීමේ දී ඔබට අදාළ ප්‍රශ්න පමණක්‌ තෝරාගන්න. ඒ සඳහා ඔබට විෂය නිර්දේශය ගැන දැනුමක්‌ අවශ්‍ය වේ. ඔබ ළඟ විෂය නිර්දේශයක්‌ නැති නම් විෂය නිර්දේශයක්‌ වහා ම සොයා ගන්න. විභාගයට අවශ්‍ය දේ හා පාඩම් කළ යුතු කොටස්‌ ගැන අදහසක්‌ ඔබට එමගින් ලද හැකි ය. ලකුණු දීමේ ක්‍රමය ගැන විමසීමෙන් ද ඔබ පාඩම් කළ යුතු තරම ගැන යම් අදහසක්‌ ලද හැකි ය.

මතකය පිරික්‌සීමට පරීක්‌ෂාවක්‌ කරන්න.

ඔබ ඕනෑ ම විෂය ධාරාවක්‌ හැදෑරුව ද නිරතුරු මතකය පිරික්‌සීමේ අභ්‍යාසවල යෙදෙන්න. උසස්‌ පෙළ දී දැන් මාසික පරීක්‌ෂණ ක්‍රමයක්‌ ක්‍රියාත්මක නැතැයි සිතමි. වෙනත් රටවල මාසික පරීක්‌ෂණ මෙන්ම සති අන්ත පරීක්‌ෂණ ද ඇත. එමගින් වරින් වර තම දැනුම පිරික්‌සන්නට දරුවන්ට ඉඩ ලැබේ. විෂය කොටසක්‌ අවසානයේ හෝ මෙවැනි අභ්‍යාසවල යෙදිය යුතු ය. පාසලේ විෂයභාර ගුරුතුමා ඇතැම් විට ඒකකයක්‌ අවසානයේ ඔබට ඊට අදාළ ප්‍රශ්න දෙන්නට ඉඩ තිබේ. එසේ දෙන්නේ නම් ඒ සැම ප්‍රශ්නයකට ම පිළිතුරු සොයන්න. ඔබට එවැනි අභ්‍යාස පාසලෙන් නො ලැබේ නම් ඒකකයේ කරුණු ප්‍රශ්න බවට පෙරළා ඔබ ම විමසන්න. උදාහරණයක්‌ ලෙස ජෛවවිද්‍යාව විෂයයේ ජීවීන් ගේ විවිධත්වය යටතේ එකයිනොඩර්මෙටා වංශය ගැන ඉගෙන ගැනීමට ඇතැයි සිතමු. ඒ යටතේ ඔබට ම මෙවැනි ප්‍රශ්න සකසාගත හැකි ය.

පිටුවේ ආරම්භයට

3

කොතරම් පාඩම් කලත් අමතක වෙනවද?

මතකය වර්ධනය කරගන්න කැමතිද?

මෙන්න ඒ සඳහා ක්‍රම සහ විදි…..

ඕනෙම කෙනෙක් විභාගයකට සූදානම් වීමට ප්‍රථම තමාගේ මතක ශක්තිය හොඳ මට්ටමකට ගෙන ආයුතුයි. මේ සඳහා මතක වර්ධන3ය සඳහා වන දේවල් කරන්න අවශ්‍ය වනව. මතකය කියන්නෙ තොරතුරු සමූහයකට. මෙම තොරතුරු අපගේ ඇස, කණ, නාසය, දිව, සම යන සංවේදී අවයව පහෙන්ම ඇතුලු වෙනු ලබනව. නමුත් මෙසේ ඇතුලුවන සියලුදේම අපගේ මතකයේ රැදෙන්නෙ නැහැ.

ඇතම් තොරතුරු සුළු වේලාවක් මතකයේ රැඳී ඉවත්වෙනව. ඇතැම් තොරතුරු දීර්ඝ කාලයක් මතකයේ රැදෙනව. පරිසරයේ සිදුවෙන සියලුම දේවල් මතකයේ රැදුනොත් ඔහු හෝ ඇය අනිවාර්යෙන්ම උන්මත්තකයෙකු වනු ඇත. ස්වභාවයෙන්ම අපගේ මතක ගබඩාවේ පවතින තොරතුරු කාලයත් සමග අමතක වී යයි. එය එසේ සිදුවිය යුත්තක් සහ එය අතිශය සාමාන්‍ය දෙයක්ද වේ.‍ කෙසේවෙතත් විභාගයකට සූදානම් වන්නෙකුට ‍වගේම ඕනෑම අයෙකුට යම් තොරතුරු ප්‍රමාණයක් දීර්ඝකාලීනව තම මතකයේ තබාගැනීම අනිවාර්ය්‍ය වේ. මෙහිදී වැදගත් වන්නේ එම මතක තබා ගන්නා ලද තොරතුරු නැවත ස්මරණය(Recall) කිරීම සහ යාවත්කාලීන වීම සමග එම තොරතුරු දීර්ඝ කාලයක් නොනැසී මතක තබා ගැනීම(Retention). මෙසේ සඳහා සුවිශේෂ මතක වර්ධණ ක්‍රම රාශියක් අපිට අනුගමණය කරන්න පුලුවන්. හොදයි දැන් අපි බලමු ඒවා එකින් එක අරගෙන.

01:  ඔබ අධ්‍යයනය කරන ලබනු දෙය සම්බන්දව ඔබගේ අවධානය(Attention) සම්පූර්ණයෙන් යෙදවීම.

මතකයේ ප්‍රධානම දේ තමයි අවධානය. ඔබට අවධානය නොමැතිව කිසිඳු දෙයක් ඉගෙනීමට නොහැකිය.යම් තොරතුරක් මුලින්ම කෙටි කාලීණ මතකට පවා ඇතුලත් වීමට අවධානය කියන දේ අවශ්‍ය වෙනව. ඔබ අවධානය යොදනු ලබන ප්‍රමාණය මත සහ ක්‍රම මත එම තොරතුරු කෙටි කාලීණ මතකයේ සිට දීර්ඝකාලීණ මතකයට යනු ලබන ප්‍රමාණය තීරණය වෙනව. උදාහරණයක් ගතහොත් ඔබ ඉතා ආසාවෙන් කැමතිම චිත්‍රපටයක් රසවිඳින කොට ඔබට අවට පරිසරය පිළිබඳ කිසිදු අවධාණයක් නොමැත. ඇතැම් විට කෙනෙකු ඔබට උස්හඬින් කතා කලද ඔබට එය නොඇසෙනු ඇත. මක්නිසාද යත් එම අවස්තාවේ ඔබගේ සම්පූර්ණ අවධාණය යොමු වී ඇත්තේ එම චිත්‍රපටයට නිසාවෙනි. මේ ආකාරයෙන් සම්පූර්ණ අවධාණය ඔබට ඉගෙනුම් කටයුතු සදහාද යෙදවිය හැකිනම් අනිවාර්යෙන්ම එම තොරතුරු ඔබගේ දීර්ඝ කාලීන මතකයේ රැදෙනු ඇත. කෙසේ වෙතත් ඔබ කරනු ලබන දෙය මත ඔබ කෙරේ ඇති උනන්දුවේ ප්‍රමාණය මත එය තීරණය වේ. ඔබ යම් දෙයක් කරන විට එය ඉහල අවධානයකින් කිරීමට අවශ්‍ය නම් එයට බාදා වෙන එනම් ඔබගේ අවධානය වෙනතකට යොමු වන දේවල් වලින් ඈත් වන්න. උදාහරණයක් වශයෙන් ඔබ යම් දෙයක් පාඩම් කරන විට රූපවාහිණිය, රේඩියෝව වැනි දේවල් වලින් ඈත් වෙන්න. කිසියම් කෙනෙක් කියනවානම් රූපවාහිණිය නරඹණ ගමන් සහ රේඩියෝවට සවන් දෙන ගමන් හොඳින් පාඩම් කල හැකිය කියා එය අමූලික බොරුවකි. මන්දයත් එවිට අපගේ සම්පූර්ණ අවධාණ කොටස් ‍වලට බෙදීයන නිසාවෙනි. මතකයෙහි ඉහල ‍ප්‍රතිඵල ලැබීමට නම් එක් වරකට එක්දෙයක් පමණක් කිරීම සුදුසුය.

02: එකිනෙකකට සමාකාර වන තොරතුරු සියල්ලක්ම කටපාඩම් කිරීමෙන් වලකින්න.

ඔබ යම් විශය කරුනක් ඉගෙනීමේදී එහි ඇති සියලුම ඉස්පිළි, පාපිළි ගානේ මතක තබා ගන්ට සහ එක දිගට  එක හා සමාන විශය කරුණු රාශියක් කටපාඩම් කිරීමෙන් ඔබට නිසි ප්‍රතිඵල අත්නොවෙනු ඇත. කල යුත්තේ යම් දෙයක් පාඩම් කරණවිට එයට හැකිතරම් ආධාරක එක් කරගැනීම සහ එයට සම්බන්දව අභ්‍යාසයන්ගේ නිරත වීමයි. උදාහරණය දෙකක් සලකා බලමු.

01 ඔබ ජීව විද්‍යාවේ එන මිනිසාගේ ඇස සම්බන්දව පාඩම් කරණවායයි සිතමු.

මුලින්ම එයට අදාල විශය කරුණු සියල්ලක්ම කියවා. එහි ඇති රූප සටහන් පිළිබඳ ඔබගේ අවදානය යොමු කරන්න. මීළගට එහි ඇති රූප සටහන් බලාගෙන ‍කොලයක ඇඳ කොටස් නම් කරන්න. මෙය කිහිප විටක් සිදුකිරීම සුදුසුය. ඉන්පසුව එම රූප සටහන් මූලික ප්‍රභවය නොබලා අඳින්න. ඔබ එහි සම්පූර්ණයෙන් සාර්ථක වූ පසුවත් කිහිප විටක් වරින් වර මෙය කිරීම සුදුසුය. දැන් ඔබට එම විශය කරුණ සම්බන්දව යම් සබවාදී හැගීමක් දැනෙනුඇත. එවිට ඔබ නිරායාසයෙන්ම එහි අනෙකුත් විශය කරුණු ඉගෙනීමට යොමු වෙනු ඇත. සාමාන්‍යයෙන් වචන වලට වඩා ඉතා විශාල කාර්යයක් රූප මගින් සිදු කරයි. මෙම උදාහරණය මගින් මම උත්සාහ ක‍රේ යම් විශය කොටසක් පාඩම් කිරීමට පටන් ගත් විගසම සාම්ප්‍රදායික ආකාරයට එහි සෑම කොටසක්ම කිය‍වාගෙන යාම වෙනුවට හැකි තරම් එයට ආධාරක එක්කොට ගනිමින් එම කාර්යය යම් විනෝදයක් ගෙන දෙන ආකාරයට සිදුකරන ආකාරය ගැන මූලික හඳුන්වාදීමක් කරන්නයි.

02 ඔබ ගණිතයේ ත්‍රිකොණමිතිය ඉගෙන ගන්නවායයි සිතන්න.

ත්‍රිකෝණ මිතියේ විවිද සංකල්පයන් දක්නට ලැබේ ‍එම එක් එක් සංකල්ප ඉගෙන ගැනීමේදී එම එක් එක් සංකල්පයට අදාලව යම් අභ්‍යාස ප්‍රමාණයක් ඔබ කල යුතුය එවිට බොහෝවිට එක හා සමාන ගැටලු විසදීම සිදුවේ. නමුත් ඔබ ත්‍රිකෝණමිතියෙහි සියලුම සංකල්ප උගෙන ඇති නමුත් ඔබ සිදු කරන්නේ එක් සංකල්පයකට අදාල ගැටලු විසඳීම පමණක් නම් එහි ගැටලුවක් පවතී. එය ඔබම ඔබ විසින් රවට්ටාගැනීමකි. සිදුකල යුත්තේ ත්‍රිකෝණමිතියේ එන සියලුම සංකල්ප එකිනෙක සම්බන්ද කරමින් එන ගැටලු විසඳීම සහ ඔබ විසින්ම එවැනි ගැටලු නිර්මාණය කිරීමයි. එනම් ඉගෙනුම ක්‍රියා වලියේදී එයට ඔබ සක්‍රීයව දායක වීමයි. මෙසේ සිදුකරන විට සියලම විශය කරුණු හොඳින් මතකට ඇතුලු වීම වගේම එම කරුණු නැවත ස්මරණ හැකියාවද වැඩිදියුනු වීම සිදු වේ.

03: ඔබ මතක තබාගන්නා දේ සම්බන්දව යම් ක්‍රමාණුකූල සැලැස්මක්(Structure) පිළියෙල කර ගැනීම සහ කරුණු පෙළ ගැස්සවීම.

මෙහිදී කෙරෙනුයේ යම් තොරතුරු සමූහයක් වඩාත් සරල මෙන්ම ක්‍රමාණුකූල ආකාරයට පිලියෙල කිරීමයි.මෙහිදී සමාන තොරතුරු එක් ගොඩකට දැමීම, තොරතුරු දැක්වීම සඳහා වගු භාවිතය, රූප සටහන් භාවිතය  විවිද වර්ණයන් යම් ක්‍රමාණුකූල පිළිවෙලකට භාවිතා කිරීම. කරුණූ ගොණු කිරීමේදී තරුලකුණු වෙනුවට හැකිතරම් ඉලක්කම් භාවිතය, ප්‍රස්තාර භාවිතය, බහුමාධ්‍ය භාවිතය(Multimedia) ඒ යටතට ඡලන රූප භාවිතය(Video) ශබ්ද(Sounds) භාවිතය හා අනෙකුත් තාක්ෂණික ක්‍රම ඉදිරිපත් කරන්න පුලුවනි. මෙය සරල උදාහරණයකින් පැහැදිලි කර ගනිමු.

1 ඔබ විද්‍යා විශයෙහි එන ජල චක්‍රය හදාරනවායයි සිතන්න.

ජල චක්‍රයේ එන සිද්ධාන්ත ඉතා සරලව අපිට රූප සටහනක් බාවිතයෙන් අපිට ඉදිරිපත් කරන්න පුලුවන් එවිට එහි සියලමු සිද්ධාන්ත යම් ක්‍රමාණුකූල ආකාරයකට සරලව අපිට මතක තියාගන්න පුලුවන් සහ ඉතා පහසුවෙන් එම කරුණු නැවත වේගයෙන් ස්මරණයක කරන්නටද හැකි වෙනව.

04: තාක්ෂණික ආධාරක භාවිතය සහ ආදේශික ආධාරක භාවිය.

මේ යටතට නවීණ ක්‍රම වන පටිගත කරන ලද හඬ පට වලට නැවත නැවත සවන්දීම, එම විශය කරුනට අදාලව වීඩියෝ පට බැලීම, යම් විශය කරුණක් යම් ගීතයක තාලයට අනුරූපීවන ලෙසට සකස්කොට ගැනීම හෝ විහිලුවකට ආදේශ කොට ගැනීම දක්වන්න පුලුවන්. මෙය ඉතාම සාර්තක ක්‍රමයක් විදියට මම පවුද්ගලිකව අත්දැකපු දෙයක්. ඉතා අපහසු විශය කොටස් මතක තබාගන්න මෙම ක්‍රමය භාවිතා කරන්න පුලුවනි.

05: නැවත සිහිගැන්වීම හා ප්‍රතිසංස්කරණය කිරීම.

මෙහිදී අප අධ්‍යයනය කරන ලද විශය කොටස් පසුව නැවත පරීක්ෂා කිරීම සිදු‍ කෙරේ. මෙය අපට එම කරුණු නැවත ආවර්ජනය කරමින් ක්‍රමාණුකූලව සහ පිලිවෙලකට ලිවීම මගින් කල හැකිය එහිදී යම් කරුනු ඔබට මතකයට නොපැමීමට පුලුවන්, එහිදී එම විශය කොටස් නැවත පරිශීලනය කිරීම කරීම සිදු කල හැකිය. ඉන්පසුවත් ඉහත ආකාරයට එම කරුණු ලිවීම මගින් දැනට ඔබට ධාරණය වී ඇති ප්‍රමාණය සම්බන්දව ඔබට නිශ්චිත අවබෝදක් ලබාගත හැකිය. මෙය සිහි කැඳවීමෙන් කිරීම එතරම් යෝග්‍ය නොවේ. මන්ද යත් අප අමතකයි කියා සිටින දේවල් ඇතැම් විට අපට පහසුවෙන් පිලිතුරු සැපයීමේදී ස්මරණය කල හැකිවා මෙන්ම මතකයයි සිතන දේවල් පහසුවෙන් ස්මරණය කල නොහැකි වීමයි. එම නිසා විශය කරුණු අධ්‍යයනයෙන් අනතුරුව නැවත නැවත ලිවීම ඉතාම හොඳ මතක තබා ගැනීමේ ක්‍රමයක් ලෙස ඉදිරි පත් කල හැකිය.

06: අධ්‍යයනය කරණලද දේවල් හා  අලුතින් අධ්‍යයනය කරන දේවල් එකිනෙක සමග හැකි සෑම විටම සම්බන්දතා ගොඩනැගීම.

ඔබ කිසියම්  අලුත්දෙයක් අධ්‍යයනය කරන්ට යන විට හැකි සෑම විටම ඊට අධාල වන්නාවූ ඔබ කලින් හදාරා ඇති සංකල්ප සහ අත්දැකීම් තුලින් ඒ දෙස බැලීම ඔබට නව සංකල්පය පහසුවෙන් හා වේගයෙන් තේරුම් ගැනීමට පහසු කරවනවා ඇත. එහිදී ඇති සම්බන්දතා දෙස බැලීමේදී ඇතැම් විට ඔබට එහි අලුතෙන් දෙයක් ඉගෙනීමට නොමැති වන්නට පුලුවන. හුදෙක් එය අලුත් නමක් යෙදූ හා නව ආකාරයකින් ඉදිරිපත් කරන ලද ඔබ පෙර උගෙන ගෙන ඇති සංකල්පම විය හැකිය.

07: හදාරා ඇති දේ යම් ක්‍රමාණුකූල ආකාරයට මනසින් චිත්‍රණය කිරීම(Visualize) හා රූපයට නැගීම.

ඇතැම් අවස්තාවලදී අපි නොදැනුවත්වම මෙය සිදු කරනු ලබයි උදාහරණයක් විදියට ඔබ නවකතාවක් කියවන විට එහි ඇති චරිත සහ සිදුවීම් මනසින් චිත්‍රරණය කරයි. මෙය අපගේ අධ්‍යාපණ කටයුතු සඳහාද භාවිතා කරන්න පුලුවන් උදාහරණයක් විදියට ජීව විද්‍යාවේ එන ජෛයිව පරිණාමය යන කොටසේදී ක්‍රමිකව මාණවයා විකාශනය වන ආකාරය අපිට මණසින් චිත්‍රණය කරන්න පුලුවන්. ඒ වගේම ඒ සම්බන්දව වන සියලුම විශය කරුණු අපිට තනි රූපයකට ගත හැකියි. මෙහිදී එම විශය කරුණු යම් ක්‍රමාණුකූල ආකාරයකට නැවත ස්මරණයක කිරීම සිදුවේ. මෙය නැවත නැවත කිරීමෙන් කෙටි කාලීන මතකයේ තිබෙන එම කොටස් දීර්ඝ කාලීන මතකයට ගමන් කිරීම ඉතා වේගයෙන් හා ස්තාවර ආකාරයෙන් සිදුවෙයි. ඒ වගේම එසේ පිලියෙල කරන ලද රූප සටහන් නිතර නිතර බැලීම වගේ දේවල් මේ ගණයට අයත් වේ.

08: ඔබ දන්නා දේ නොදන්නා කෙනෙකුට කියා දීම.

මෙමගින් තමන්ගේ ස්මරණ හැකියාව සහ ස්මරණය කරගන්නා ලද තොරතුරු නිවැරිදි හා ක්‍රමාණුකූල ආකාරයට ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙනු ඇත. තවද ඔබ උගත් විශය කරුණු සම්බන්දව ඉතා ඉහල ස්තාවරත්යක් සහ ආත්ම විෂ්වාසයක් ඇති වේ.

09: වැඩි අවධානයක් අපහසු විශය කරුණු කෙරෙහි යොමු කිරීම.

ඔබට සාමාන්‍යයෙන් යම් දෙයක් වටහා ගැනීමට හා මතක තබාගැනීමට ගතයුතු ආයාශයට වඩා වැඩි ආයාශයක් යම් දෙයකට යොදවන්ට වෙනවානම් ඒ දෙය ඔබට අපහසු දෙයක් වීමට පුලුවන. මෙය ඔබ සිටින මානසික තත්වය අනුව වෙනස්වන්න පුලුවන්. මෙහිදී කල යුතු වන්නේ වැඩි අවධානයක් හා ඉහත සඳහන් විශේෂ ‍ඉගෙනුම් ක්‍රම හා මතක තබා ගැනීමේ ක්‍රම වැඩි වශයෙන් ඒ සඳහා යොදා ගැනීමයි. දින කිහිපයක් එසේ වැඩිපුර අභ්‍යාසයන්හි යෙදීමෙන් එම අපහසු විශය කොටස ඔබට ඉතා පහසු දෙයක් වනවා ඇත.

10: ඉගෙනුම් ක්‍රියාවලිය උදෙසා තමන්ගේම ක්‍රමයක් භාවිතා කිරීම.

එක් එක් පුද්ගලයන්ගේ දින චර්යාව, පෞරුෂය, රුචි අරුචිකම් එකිනෙකට වෙනස්ය එම නිසා ඒ ඒ පුද්ගලයාට වඩාත්ම ගැලපෙන දේ ආදේශ කරගත හැකිවන්නේ ඔහුටම පමණි. මෙය අධ්‍යයන ක්‍රියාවලියටද අදාල දෙයකි. ඇතමෙකුට පාඩම් කරණ ස්තාණය. පාඩම් කරන ආකාරය. පාඩම් කරණ වේලාව වැනි දේවල් තදින්ම එම ක්‍රියාවලියේ සාර්තකත්වයට හේතුවිය හැකිය. එම නිසා තමන්ට හරියටම ගැලපෙන  ආකාරය තමන්ම තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. මෙහිදී ඇතැම් විට පාඩම් කිරීමට හා මතකය ඉහල දමාගැනීමට භාවිතා කරන දේවල් තමන්ටම සුවිශේෂී විය හැකිය. මෙහිදී ඇති වැදගත්ම දේ තමන් තමන්ටම සුවිශේෂී ලෙස අනුගමණය කරන දේවල් වලින් තමාට සාදනීය ප්‍රතිඵල උදාවී ඇතැයි යන සහතිකය තමාටම දීගත හැකි වීමයි.

http://sinhalapress.blogspot.com වෙතින්

පිටුවේ ආරම්භයට

4

පාඩම් කරන දේ අවශ්‍ය වේලාවට මතක් කරගන්න මෙහෙම කරමු….

ඔබට හොඳ මතකයක් නැතැයි දුක් වෙන්න එපා

ඉගෙන ගන්නා අය අතරින් වැඩි පිරිසක් ළමයි වෙති. හැම ළමයෙකු ම කැමති හොඳින් ඉගෙන ගැනීමට ය. එහෙත් දරුවන්ටත් වඩා ඔවුන්ගේ ඉගෙනීම ගැන විභාග සමත්කරවීම ගැන උනන්දු වන්නේ මවුපියෝය. තමා කැමැති වුණත් අකමැති වුණත් අද පවතින තරගකාරි අධ්‍යාපන රටාවට අනුගත වීමට සිදුව තිබේ.

හොඳින් ඉගෙන ගැනීමට තිබිය යුතු අත්‍යාවශ්‍ය අංගය නම් හොඳ මතකයක් තිබීමයි. තමා එදිනෙදා ඉගෙන ගන්නා දෙය මෙන් ම පාඩම් කරන දෙය ද හොඳින් මතකයේ රැදෙන්නේ නම් එය ඉතා විශාල ජයග්‍රහණයකි. එමගින් කාලය මෙන් ම ශ්‍රමය ද බොහෝ සේ ඉතිරි කර ගැනීමට හැකිවෙයි.

මතක ශක්තිය එක් එක් පුද්ගලයා උපතින් ම රැගෙන එන දෙයකි. එමෙන් ම එම මතකය විවිධ අභ්‍යාස මගින් තවදුරටත් වර්ධනය කරගත හැකි ය. එබැවින් ඔබට හොඳ මතකයක් නැතිනම් ඒ පිළිබඳව කනගාටු විය යුතු නැත.

උපතින් ම ඉතා හොඳ මතකයක් තිබුණු මිතුරෙක් සිටියේ ය. ඔහුට යම් පොතක් එක්වරක් කියවූ විට එහි ඇති සියලු කරුණු මතකයේ තබාගත හැකි ය. ඔහු දෙස බලා සිටි තවත් මිතුරෙකු එම දෙයම කිරීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය. ඉන්පසු ඔහු කළේ යම් ආධාරකයක් මත කකුල් දෙකෙන් ඔළුව පහළට සිටින සේ එල්ලී එම පොත කියවීමට උත්සාහ කිරීමයි.

මම එයට හේතුව විමසූ විට ඔහු ප්‍රකාශ කළේ, එසේ කිරීමෙන් මොළයට හොඳින් ලේ යන බැවින් එම පොතේ කරුණු මතකයේ රැඳේ දැයි පරීක්ෂා කළ බව ය. එය තරමක් හාස්‍යජනක පරීක්ෂණයක් වුවත් එම කතාවේ වැදගත් කරුණක් ගැබ් වී තිබේ.

එනම් බොහෝ දෙනකු තමන් ඉගෙන ගන්නා දේ මතකයේ රඳවා ගැනීමට බොහෝ වෙහෙස වන බවය. අපට හොඳ මතකයක් ඇති කරගැනීමට හැකි නම් කෙතරම් අගනේ ද? සැබවින් ම එය කළ නොහැකි දෙයක් ද නොවේ.

අප එදිනෙදා කරන සියලු ක්‍රියාකාරකම් සහ තොරතුරු අපේ සිතේ තැන්පත් වී තිබේ. ඒවා කෙටි කාලීන, දිගුකාලීන සහ ඉතා දීර්ඝ කාලීන මතකයන් ලෙස උඩු සිතේ සහ යටි සිතේ තැන්පත් වී ඇත. වර්තමානය පමණක් නොව, අතීතය, කුඩා කාලය සහ උපතට පෙර භවයන් ආදිය පිළිබඳව පවා විශාල දත්ත ප්‍රමාණයක් ස්වභාවයෙන් ම අපගේ සිතේ ගබඩා වී ඇත. නමුත් ඒවා අපට අවශ්‍ය වේලාවට සිතට නඟා ගැනීමට අපහසු බැවින් අපගේ මතකය දුර්වල යැයි අපට හැඟෙයි.

එසේ නම් මෙහිදී ඉතා වැදගත් කරුණක් ඉස්මතු වෙයි. අප ඉගෙන ගන්නා දේ මෙන් ම අපගේ ජීවිතයේ වෙනත් වැදගත් සිදුවීම් අපට අවශ්‍ය වේලාවට යළි මතුකර ගැනීමට හැකි ආකාරයට සිතේ ගබඩා කරගත හැකි නම් අපගේ මතකය වර්ධනය කරගත හැකි ය. එය සිදු කළ හැක්කේ කෙසේ ද?

පහත දක්වා ඇත්තේ ඔබට ම අත්හදා බැලිය හැකි මතකය වර්ධනය වන ක්‍රම කීපයකි. එයින් ඔබට වඩා සුදුසු ක්‍රමය තෝරාගත හැකි ය.

1. තමා පි‍්‍රය කරන විෂය ක්ෂේත්‍රය තෝරා ගැනීම.

අප කැමැති දේ සිතේ රැඳීම සිතේ ස්වභාවයයි

අප කැමැති දෙයට සිත ඇදී යාම, එය සිතේ රැඳීම ස්වාභාවික දෙයකි. ඉගෙන ගන්නා දෙයද එසේ ය. තමාට ගැළපෙන විෂය තෝරා ගැනීමට පෙර ඉතා දීර්ඝ ලෙස කල්පනා කළ යුතු ය. විශේෂයෙන් ම කුඩා කාලයේ දී දරුවන්ව සෑම විෂයක් ම පාහේ ඉගෙන ගැනීමට සිදුවෙයි. නමුත් ක්‍රම ක්‍රමයෙන් වැඩිවියට පත්වන විට ඔවුන්ට තමා කැමති විෂය ක්ෂේත්‍රය තෝරා ගැනීමට අවස්ථාව ලබාදිය යුතු ය. තමා කැමති දෙය සමඟ සිතේ ගැටීමක් ඇතිවන්නේ නැත. ජලය ගලා යන අතට පිහිනීම පහසු ය. යම් දෙයකින් අපට තෘප්තියක් තිබේ නම් එය අපට සාර්ථකව සිදු කළ හැකි ය. මවුපියන්ගේ ඉල්ලීම මත උසස් පෙළ විද්‍යා විෂය හැදෑරූ ශිෂ්‍යයෙක් අසාර්ථක විය. එහෙත් ඉන්පසු තම කැමැත්ත ඇතුව කලා විෂය හදාරූ එම ශිෂ්‍යයා උසස් ලෙස සමත් විය.

2. නිවැරදි ගුරුවරයකු තෝරා ගැනීම

ටියුෂන් පන්ති හෝ සුදුසු ගුරුවරයකු සොයා යාම වරදක් නොව

මෙය ඉතා වැදගත් කරුණකි. දක්ෂ වෛද්‍යවරයෙකු රෝගයක් සුව කරන්නා මෙන්, දක්ෂ නීතිඥයෙකු නඩුව ජයග්‍රහණය කරන්නාක් මෙන් දක්ෂ ගුරුවරයෙක් තම ශිෂ්‍යයා ද දක්ෂ ශිෂ්‍යයෙකු කරයි. නිවැරදි දේ ඉගැන්වීම මෙන් ම සුදුසු මානසිකත්වය හැඳීම ද ගුරුවරයකු සතු වගකීමකි. අද කාලයේ බොහෝ ළමයින් ටියුෂන් පංති යන්නේ ද ඒ නිසා ය. එහි වරදක් නැත. පාසලේ හෝ වෙනත් ස්ථානයක සුදුසු ගුරුවරයෙකු සිටී නම් ඔහු සොයා යා යුතු ය.

කාලෙකට ඉහත මගේ මිතුරෙක් පශ්චාද් උපාධි පුහුණුව සඳහා ඉදිරිපත් විය. ඔහුට හමු වූයේ දක්ෂ ගුරුවරයෙකු නොව යක්ෂ ගුරුවරයෙකි. එබැවින් ඔහුට එම විෂය එපා විය. නමුත් ඔහු වෙනත් විෂයක් තෝරා ගත් විට හමු වූයේ දක්ෂ ගුරුවරු ය. එබැවින් එය සාර්ථක විය.

3. ඉගෙනීම් කටයුතු සිදුකරන විට ඒ පිළිබඳව සම්පූර්ණ අවධානය යොමු කිරීම

විවිධ දුරාචාර, පෙම් සබඳතා ඇති සිසුන්ට ඉගෙන ගන්නා දේ මතකයේ නොරැඳෙයි

සිත එක්තැන් කරගෙන යමක් පිළිබඳව අවධානය යොමු කරන්නට නොහැකි නම් එය මතකයේ රැඳෙන්නේ නැත. ඉගෙන ගන්නා අයකුගේ සිත වෙනත් බාහිර දේ නිසා නොකැලඹි තිබීම වැදගත් වන්නේ මේ නිසාය.

සිත විවිධ අරමුණු, කල්පනා සහ ආශාවන් පසුපස ගමන් කිරීම නිසා ඉගෙන ගන්නා වැදගත් කරුණු මතකයේ නොරැඳෙයි. පාසල් සමයේදී විවිධ දුරාචාරවල යෙදෙන, පේ‍්‍රම සම්බන්ධතා පවත්වන, නොහික්මුණු සිසුන්ට ඉගෙන ගැනීමට නොහැකි වන්නේ ඒ නිසාය. වැඩිහිටියන් අතර ද මත්පැන් බොන අයගේ මතකය දුර්වල වෙයි.

යම් අයෙකුගේ සිත ආශාවල් වලින් පිරී තිබෙන විට, තරහින් තිබෙන විට, කම්මැළිකමින් තිබෙන විට, නොසන්සුන් කමින් සහ පසුතැවීමෙන් තිබෙන විට සහ ඉගෙන ගන්නා දෙය පිළිබඳව සැකයෙන් තිබෙන විට ඔහු ඉගෙන ගන්නා දෙය මතකයේ නොරැඳෙයි. එබැවින් සිත ඒ දේවල් වලින් මුදාගෙන හොඳ අවධානයක් පවත්වාගැනීම ඉතා වැදගත්ය. පුද්ගලයකුට මනා හික්මීමක් තිබිය යුතු වන්නේ ඒ නිසාය.

4. ඉන්ද්‍රියයන් වැඩි ප්‍රමාණයක් යොදා ගැනීම –

නැවත ලියා, ශබ්ද නඟා කියවා, අන් අයට කියා දී පාඩම් කළහොත් සියයට 90ක් මතකයේ රැඳෙයි

අපට ඇස, කන, නාසය, දිව, සම හා මනස වශයෙන් විවිධ ඉන්ද්‍රිය පවතියි. අප යම් කටයුත්තක් කරන විට ඉහත ඉන්ද්‍රිය වැඩි ප්‍රමාණයක් යොදාගන්නේ නම් එය පහසුවෙන් මතකයේ රැඳෙන බව සොයාගෙන තිබේ.

සාමාන්‍ය පුද්ගලයකුගේ මතකයේ රැඳෙන්නේ ඔහු කියවන දෙයින් 20% ක් පමණි. ඔහු අසන දෙයින් 30% ක් පමණි. ඔහු දකින දෙයින් සියයට 40 කි. ඔහු කතා කරන දෙයින් 50% කි. කරන දෙයින් 60% කි. නමුත් ඔහු දැකීම, ඇසීම, කතා කිරීම හා ප්‍රායෝගිකව වැඩ කිරීම යන සියල්ල එකට සිදුකළහොත් ඒවායින් 90% ක් පමණ මතකයේ රැඳෙයි. එයට හේතුව එසේ කරන විට සම්පූර්ණ මොළයම ක්‍රියාකාරී වීමයි.

එබැවින් තමා ඉගෙන ගන්නා දෙය සක්‍රීයව සිදුකිරීම වැදගත්ය. ඒවා නැවත නැවත කොළවල ලිවීම, ශබ්ද නඟා කියවීම, අන් අයට කියාදීම, ඒවා ඇසුරෙන් නිර්මාණ කිරීම සහ එම දැනුම යම් යම් දේ සඳහා යෙදවීම වැදගත්ය. එවිට එම කරුණු අමතක වන්නේ නැත.

5. අලුත් කරුණු තමා දැනටත් දන්නා දේ සමඟ සම්බන්ධ කිරීම –

කතන්දරයක් මතක හිටින්නේ ඊට සම්බන්ධ විවිධ සිද්ධි නිසය

යම් සම්බන්ධතා ඔස්සේ විවිධ දේ මතක තබාගැනීම පහසුය. කතාන්දරයක් වුවත් අපට පහසුවෙන් මතක හිටින්නේ එහි ඇති සම්බන්ධතාව සහ ගලාගෙන යන රටාව නිසාය. එබැවින් විවිධ විෂයවල ඇති කරුණු එකිනෙකට ගළපා, එකකට එකක් සම්බන්ධ කිරීමෙන් ඒ සියලුම කරුණු මතකයේ රඳවාගත හැකිය. එකකට එකක් සම්බන්ධ නැති දේවල් ලෝකයේ විරලය. සෑම දෙයක්ම කොතනකින් හෝ එකිනෙකට සම්බන්ධව පවතී. උදාහරණයක් වශයෙන් ‘හිරු එළිය’ සැලකූ විට එම විද්‍යාව, කලාව, ගණිතය, සොබාදහම, ආගම ආදි සියලුම දෙයට සම්බන්ධව පවතී.

6. පුනරීක්ෂණ කිරීමෙන් නැවත නැවත මතකයට නඟා ගැනීම

පහසුවෙන් සතුටින් සිටින විට අමතක දේ මතකයට නැඟෙයි

අද ඉගෙන ගන්නා දෙයින් බොහොමයක් හෙට වන විට මතකයෙන් මැකී යයි. එබැවින් අද දිනය තුළ ඉගෙන ගත් කරුණු අද දිනය අවසාන වීමට පෙර නැවත මතකයට නඟා ගත යුතුය. ඉන් පසු දෙවන දිනයේ ද මතකයට නඟා ගත යුතුය. ඉන්පසු ටික දිනකින් ආදි වශයෙන් යම් කාල පරාස අතරතුර නැවත මතක්කර බැලිය යුතුය. එවිට කෙටි කාලීන මතකයේ තැන්පත්ව ඇති කරුණු දීර්ඝ කාලීන මතකයක් බවට පත්වෙයි. විභාගය ආසන්න වන විට දැඩි වෙහෙසක් දරා මතක් කරගැනීමට අවශ්‍ය නොවෙයි. අවසාන මොහොතේ පීඩනයෙන් සිටින විට තමා දන්නා දෙය ද අමතක වෙයි. නමුත් අවසන් මොහොත වන විට පහසුවෙන්, සතුටින් සිටින විට අමතක වී තිබු දෙය ද මතකයට නැඟෙයි. එය සිතේ ස්වභාවයයි.

7. මූලික සිද්ධාන්ත අවබෝධ කර ගැනීම

කට පාඩමට වඩා හරය තේරුම් ගැනීම වැදගත්

ඕනෑම සංකීර්ණ දෙයක් ගොඩනැඟෙන්නේ සරල දෙවල් ඇසුරෙනි. එබැවින් ඕනෑම සංකීර්ණ අමාරු දෙයක මූලික හරය හා පදනම අවබෝධ කරගත් විට එය ගොඩනඟා ගැනීම පහසුය. යම් දෙයක් කට පාඩම් කරනවාට වඩා එහි හරය තේරුම්ගෙන තර්කානුකූලව ගොඩනැඟීම මඟින් එය මතක තබා ගැනීම පහසුය.

8. මනෝමය චිත්‍රයක් මවාගැනීම

විෂය කරුණු රැසක් එක්කොට චිත්‍රයක් මවාගන්න

එකිනෙකට සම්බන්ධ නැති විවිධ කරුණු රාශියක් මතක තබා ගැනීමට අවශ්‍ය නම් ඒවා සියල්ල සම්බන්ධ කරමින් මනෝමය රූපයක් මවා ගැනීම සිදුකළ හැකිය. උදාහරණයක් ලෙස වඳුරා, කෙහෙල් ගෙඩිය, පුටුව, නිල්පාට, මෝටර් රථය, රාත්‍රිය… ආදි ලෙස වචන රාශියක් මතක තබා ගැනීමට ඇතැයි සිතන්න. එය අපහසු දෙයකි. නමුත් ඔබ ඒවා සම්බන්ධ කරගනිමින් පහත පරිදි චිත්‍රයක් මවාගන්න.

කෙහෙල් ගෙඩියක් අතින් ගත් වඳුරෙකු පුටුවක් මත සිටී. ඌ අසල නිල්පාට මෝටර් රථයක් නවත්වා ඇත. දැන් රාත්‍රී කාලයයි.

9. අධ්‍යයන රටාව සහ කාලසීමාව වෙනස් කිරීම

උපරීම ධාරිතාවෙන් එක දිගට පාඩම් කිරීම සුදුසු නෑ

එක් එක් පුද්ගලයාට එක දිගට පාඩම් කටයුතු කළ හැකි කාලසීමාව එකිනෙකට වෙනස්ය. කෙසේ වුවද සෑම කෙනෙකුටම නොකඩවා එක දිගටම වැඩ කළ නොහැකිය. එබැවින් වැඩ කටයුතු අතරතුර විවේක ගැනීම කළ යුතුය. උපරීම ධාරිතාවයෙන් එක දිගට කටයුතු කිරීම සුදුසු නැත. විවේකය ද ඉතා වැදගත් වෙයි. විවේකය ගන්නා කාලය තුළ සියලුම අධ්‍යයන වැඩ සහ අනෙකුත් ප්‍රශ්න පසෙකට දමා “සැබෑ විවේකයක්” ගත යුතුය. නැතිනම් ඒ විවේකයෙන් වැඩක් නැත.

විවේක කාලය තුළදී අප පාඩම් කටයුතු නොකළ ද මොළය විසින් අප මීට පෙර උගත් දේවල් සංවිධානය කරනු ලබයි. එය සිදුවන්නේ අපට නොදැනීමය. එබැවින් විවේකයක් ගැනීම කිසිසේත්ම කාලය අපතේ යැවීමක් නොවේ. විවේකය නිසා අපට ඒ දක්වා කළ වැඩෙහි අවසානයක් දැනෙයි. එසේම විවේකයෙන් පසු යළි අලුත් ආරම්භයක් දැනෙයි. එසේ අවසාන කිරීම් සහ ආරම්භ කිරීම් නිසා අපට ප්‍රබෝධවත් බවක් දැනෙයි.

එක්තරා හෝටලයක අධ්‍යයන වැඩමුළුවක් පැවැත්විණි. එයට සහභාගි වූ මගේ මිතුරෙකු එම වැඩමුළුව අතරතුර වූ විවේකයේදී වහාම ගියේ පිහිනුම් තටාකය වෙතටයි. ඔහු හයියෙන් සිනාසෙමින් ජලයේ ක්‍රීඩා කළේය. ඒ කාලය තුළ ඔහු තමා කළ සියලු අධ්‍යයන කටයුතු අමතක කළේය. විවේකය අවසන් වූ විට ඔහු නැවතත් අධ්‍යයන කටයුතු ආරම්භ කළේය. එවිට මීට පෙර කළ ක්‍රීඩා කිසිවක් ඔහු මතක් කළේ නැත. ඔහුගේ සම්පූර්ණ අවධානය ඉගෙන ගැනීම පිළිබඳව විය.

10. කෙටි උපක්‍රම භාවිත කිරීම

මුළු විෂයම මතක් වෙන්න එක වාක්‍යයක්

මෙය ද ඉතා ජනපි‍්‍රය ක්‍රමයකි. විවිධ පුද්ගලයන් විවිධ විෂය කරුණු උපුටාගෙන ඒවායින් විවිධ කෙටි සටහන් කවි, සිංදු, වාක්‍ය, වචන සාදාගෙන සිටිති. විෂය කරුණු තමාට හුරුපුරුදු දෙයක් සමඟ ඈඳා ගත් විට ඒවා මතකයේ තබා ගැනීම පහසුය. ප්‍රස්ථාරයක් වගුවක් හෝ රූප සටහනක් නිර්මාණය කිරීම ද එවැනිම ක්‍රමයකි. දිගු වචනයක් හෝ සංඛ්‍යාවක් නම් එය කැබලි වලට කඩා මතක තබාගැනීම පහසුය. (උදා :- 182 – 540 – 700 – 150) එසේ සාදාගන්නා සටහන නිතර පෙනෙන තැනක තැබිය හැකිය. එවැනි සටහන් සෑදීමට යම් නිර්මාණශීලීත්වයක් ද අවශ්‍යය.

මතකය ඉතා දුර්වල වුවද හොඳ නිර්මාණශීලීත්වයක් ඇති ශිෂ්‍යයෙක් සිටියේය. ඔහු කෙතරම් දක්ෂ ද යත්, මුළු විෂය නිර්දේශයේ ම ඇති අපහසු දේවල් කැටිකොට ඔහු වාක්‍යයක් තැනුවේය. එම වාක්‍යය මතක් කර ගත් විට මුළු විෂයම ඔහුට මතක් කරගත හැකි විය. ඉන්පසු ඔහු ඉතා සැහැල්ලුවෙන් විභාගයට සූදානම් විය. ඔහුට තිබුණේ එකම ගැටලුවක් පමණි. එනම් එම වාක්‍යය තමාට අමතක වෙයි ද යන්නයි.

11. යම් විශේෂත්වයක් හෝ හැඟීමත් සමඟ සම්බන්ධ කරගැනීම

ඉගෙන ගන්නා විෂය පිළිබඳ ආදරයක්, ගෞරවයක් තිබිය යුතුය

අපට කොතෙකුත් පුද්ගලයන් හෝ කෙතෙකුත් දේ හමුවුවද ඒවා අපේ මතකයේ නොරැඳෙන්නේ ඒවා ගැන විශේෂත්වයක් හෝ හැඟීමක් නැති නිසාය. යම් විශේෂත්වයක් හෝ හැඟීමක් ඇති දේවල් අපගේ මතකයේ සැමදා පවතියි.

එයට හේතුව මෙයයි.

අපගේ වම් මොළය විසින් ග්‍රහණය කරනු ලබන්නේ සංඛ්‍යා, දත්ත, තර්ක විතර්ක, විවේචන වැනි දේවල්ය. අපගේ දකුණු මොළය ඊට හාත්පසින්ම වෙනස්ය. එමඟින් ග්‍රහණය කරගන්නේ රූප, චිත්‍ර, හැඟීම්, විනෝදය වැනි ස්වාභාවික දේවල්ය. ඊට අමතරව මොළයේ “ලිම්බික් සිස්ටම්” නමැති කොටසෙනුත් එසේ හැඟීම්බර මතකයන් පාලනය කරයි. එබැවින් අප සාමාන්‍ය ලෙස ඉගෙන ගත්ත ද ඒවා වඩාත් හැඟීම්බර සහ අප පි‍්‍රයකරන දේ සමඟ සම්බන්ධ කළ විට අපගේ මොළයේ සෑම ප්‍රදේශයක්ම එකවර ක්‍රියාත්මක වෙයි. එවිට අප කරන දේ හොඳින් මතකයේ රැඳෙයි.

තමා ඉගෙන ගන්නා විෂය පිළිබඳව තමා තුළ ආදරයක්, ගෞරවයක් තිබිය යුත්තේ ඒ නිසාය. ඉගෙනීම නිසා තමාට බොහෝ දේ ලැබෙන බව අප දැනගත යුතුය. එසේ සිතන පුද්ගලයාට එම ශාස්ත්‍රය හොඳින් පිහිටයි. විෂය කරුණු මතකයේ රැඳෙයි.

12. සමබර දින චර්යාවක් පවත්වාගෙන යාම

අවශ්‍ය තරම් නින්ද නැතිනම් මතකයත් දුර්වල වෙය

ඉගෙන ගන්නා අයෙකු දවසේ වැඩි අවධානයක් ඒ පිළිබඳව යොමු කළ යුතු බවට වාදයක් නැත. නමුත් දවසේ යම් කාලයක් විවේකය, විනෝදය, නින්ද වැනි දෙයටත් වෙන්කළ යුතුය. නින්ද අවශ්‍ය තරම් නැති වූ විට මතකය දුර්වල වෙයි. එපමණක් නොව නිර්මාණශීලීත්වය, ගැටලු විසඳීමේ හැකියාව ද දුර්වල වෙයි. නින්ද ඉතා හොඳ විවේකයකි. නින්දේදී ශරීර වර්ධනය මෙන්ම යටි සිත ද එහි උපරීම ධාරිතාවයෙන් ක්‍රියාත්මක වෙයි. ශාරීරික ව්‍යායාම ද එසේය. ව්‍යායාම කරන විට ශරීරය පමණක් නොව සිත ද ව්‍යායාමයට භාජනය වන බව ඔබ දන්නවා ද?

විනෝදය, මිතුරන්, සහ ඥාතින් සඳහා ද කාලය වෙන්කළ යුතුය. මිනිසා නමැති සත්ත්වයා ස්වභාවයෙන්ම සමාජශීලී අයෙකි. එබැවින් සමාජශීලී බව සහ යහපත් සම්බන්ධතා සිතට සහනයක් ගෙන දෙයි.

13. භාවනාව

සෞම්‍ය සංගීතය ස්වභාවික ශබ්ද සිත තැන්පත් කරන භාවනාවක්

භාවනාව යනු සිත වැඩීමයි. සිත වඩන විට මතකය ද වර්ධනය වෙයි. භාවනා වඩන විට සිත සන්සුන් තත්ත්වයට පත්වෙයි.

අප අවදියෙන් සිටින විට මොළයේ “බීටා” නමැති තරංග වර්ගය බහුලව ක්‍රියාත්මක වෙයි. නමුත් අධ්‍යාපනය හා මතකය සඳහා ඉතා අවශ්‍ය වන්නේ “ඇල්ෆා” නමැති තරංග වර්ගයයි. ඇල්ෆා තරංග බහුලව ක්‍රියාත්මක වන්නේ භාවනාව හෝ මෝහනය හෝ සිත සන්සුන් අවස්ථාවලයි. එබැවින් ඔබට හොඳින් ඉගෙන ගැනීමට සහ මතක තබා ගැනීමට අවශ්‍ය නම් මනස සන්සුන් කළ යුතුය.

භාවනාව ද හදිසියේ කළ හැක්කක් නොවේ. මුලදී ඉතා අපහසු කටයුත්තකි. නමුත් කාලයක් හුරු පුරුදු කරන විට එය තරම් සතුටක්, සැනසීමක් තවත් නැති තරම්ය. දවසේ යම් කාලයක් නිවැරැදිව භාවනා කළ හැකිනම් එම සැහැල්ලුව දවස පුරාම පවතියි. නිසල සිත තරම් අධ්‍යාපනයට වැදගත් වන තවත් දෙයක් නැත. භාවනා කිරීමට අපහසු අයට නිසල පරිසරයක කාලය ගත කිරීම, ස්වාභාවික ශබ්දවලට සවන් දීම, සෞම්‍ය සංගීතය ශ්‍රවණය කිරීම වැනි දේ කළ හැකිය. එවිට සිත තැන්පත් වී ඉගෙනීමට සුදුසු වාතාවරණයක් නිර්මාණය වෙයි.

විවිධ අයට සාර්ථකව අධ්‍යාපනය ලබාගැනීමට නොහැක්කේ ඔවුන්ගේ යටි සිතෙහි පවතින විවිධ ගැටලු නිසාය. කම්මැළිකම, උනන්දුව අඩුකම, අධික නිදිමත, අධික කේන්තිය, සිතේ සමබර ස්වභාවයක් නැතිවීම, විවිධ බය ආදිය ඊට අයත්ය. මතුපිටින් හඳුනාගත නොහැකි වුවත් යටි සිත ඉතා විශාල එකකි. අපගේ විවිධ පුරුදු, හැකියාවල් හා හැඟීම් තැන්පත් වී තිබෙන්නේ යටි සිතේය. මෝහනය මඟින් කෙනෙකුගේ යටි සිත සාර්ථකව වෙනස් කළ හැකිය. එමඟින් අධ්‍යාපනයට ඇති උනන්දුව, මතකය හා හැකියාව වර්ධනය කළ හැකිය. අපට සාමාන්‍ය ජීවිතයේදී විසඳා ගැනීමට අපහසු ගැටලු රාශියක් මෝහනය මඟින් විසඳිය හැකිය.

ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම

පිටුවේ ආරම්භයට

5

පාඩම් කරන අයට Mind Maps

මයින්ඩ් මැප් මගින් පහසු මතකයක් සහ පහසුවෙන් විභාග සමත් වීමට….
මයිඩ් මැප් කියන්නේ ඉතා ප්‍රබල  සහ සරල තොරතුරැ සාරාංශ කිරීමේ ක්‍රමයක්.  මාතෘකා එකට සම්බන්ධ කිරීම්, වර්ණවත් අකුරු, ප්‍රස්තාර හා රූපරාමු මගින්  හා මුලික අකුරු මගින් ඔබේ මතකය ප්‍රබල කරගැනීමට උදව් වෙනවා.

මේ ක්‍රමවේදය ලෝකයට හඳුන්වා දුන්නේ ටෝනි බූසෑන් (Tony Buzan) නැමති ඉංග්‍රීසි ජාතික අධ්‍යාපනඥයා විසිනි.

ටෝනි බූසෑන් (Tony Buzan)

සියලුම තොරතරු ඔබට එක් ස්ථානයකට ගෙන ඒමට පුළුවන් ඒ වෙගේම ඔබට හොද ඉගෙනුම් රටාවක් ගොඩනගා ගැනිඉමට පුළුවන්.
එක් කුඩා පින්තුරයකින් හෝ විශේෂ වචනයකින් ඔබට ඉතා වැදගත් සහ කරුණු ගණනාවක් එකවර මතක තියාගන්න පුළුවන්.
මෙය භාවිතා කිරීමෙන් මතකට වැඩි වන ක්‍රම 8 ක් ගැන පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා.

  1. අවධානය වැඩිවීම
  2. ශිෂ්‍ය දින දර්ශනය මගින් බාහිර මතකයයන් වර්ධයනය කරනවා.
  3. අර්ථවත් බව වැඩිකරනවා
  4. පින්තුර මගින් වඩා පැහැදිලිව මතක හිටිනවා
  5. අවම ඉඩ ප්‍රමාණයක් බාවිතා වෙනවා
  6. සක්‍රිය ලෙස ක්‍රියා කරනවා
  7. ප්‍රශ්න කිරීම පහසු වෙනවා
  8. පුහුණු වීමට ඇති කාලය වැඩි වෙනවා

මයින් මැප් මගින් මෙම කරුණු ඔස්සේ ඔබේ මතකට දියුණු වෙනවා

පිටුවේ ආරම්භයට

6

දකුණු මොළයේ සහ වම් මොළයේ ක්‍රියාකාරිත්වය හඳුනාගන්න

කෙනෙකුගේ මොළය වම සහ දකුණ වශයෙන් කොටස්‌ 2 කට බෙදී ඇත. මනෝ විද්‍යාවේදීහු විවිධ පර්යේෂණ මගින් වම් මොළයේ සහ දකුණු මොළයේ ක්‍රියාකාරිත්වයන් හඳුනා ගෙන ඇත.

ප්‍රථමයෙන්ම වම් මොළයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව කරුණු දැනගනිමු. අද සමාජයේ දරුවන් තරඟකාරී අධ්‍යාපන රටාවකට පුරුදු වී ඇත. විශේෂයෙන් ම මව්වරු උසස්‌ අධ්‍යාපනයක්‌ ලබා දී දරුවන් විභාගවලින් සමත් කරවීමට දැඩි ප්‍රයත්නයක යෙදී සිටිති. දරුවෙකු හෝ වැඩිහිටියෙකු හෝ යම්කිසි ශිල්පයක්‌ හදාරන්නේ නම් එම විෂය ඉගෙන ගැනීම සඳහා ක්‍රියාකාරී වන්නේ වම් මොළය යි. උදාහරණයක්‌ වශයෙන් ගෙන පැහැදිලි කරන්නේ නම් ගණිතය, අවකාශමය දැනුම, භාෂාව යනාදිය ඉගෙන ගැනීම සඳහා ක්‍රියාකාරී වන්නේ මොළයේ වම් අර්ධගෝලය යි. විවිධ භාෂාවන් ඉගෙන ගන්නේද ගණිතය හෝ එවැනි කුමක්‌ හෝ විෂයක්‌ වඩාත් ප්‍රගුණ කර විශේෂඥ උපාධියක්‌ වැනි උසස්‌ දැනුමක්‌ ලබාගැනීමට උපකාරී වන්නේ ද වම් මොළයේ ක්‍රියාකාරීත්වය යි.

නමුත් වම් මොළයේ බලපෑම මත ලබාගන්නා දැනුම යහපතට හෝ අයහපතට ද හේතුවිය හැක. උදාහරණයක්‌ වශයෙන් රටක්‌ සමාජයක්‌ පුද්ගලයෙක්‌ විනාශ කිරීමේ අරමුණ ඇතිව බෝම්බ වැනි දේවල් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය දැනුම ලබා ගන්නේ නම් ඉන් සිදුවන්නේ විනාශකාරී දේවල් ය. එම නිසා හැඟීම් දැනීම් හොඳ නරක පිළිබඳ අවබෝධයක්‌ නොමැතිව යම් දෙයක්‌ ඉගෙන ගැනීමට පමණක්‌ මොළය වෙහෙසවීමෙන් යහපත් ගුණගරුක පුද්ගලයෙකු බිහි නොවේ. එබැවින් හොඳ නරක හරි වැරදි වටහාගෙන කටයුතු කිරීමට නම් කෙනෙකු තුළ සදාචාරාත්මක සංවර්ධනය, සෞන්දර්යය සංවර්ධනය වැනි දේවල් ගොඩනැගිය යුතුය. මනෝ විද්‍යාවේදීහු පෙන්වා දෙන්නේ එවැනි යහපත් වූ ක්‍රියාකාරකම් සඳහා හැඟීම් දැනීම් ඇතිවන්නේ මොළයේ දකුණු අර්ධගෝලයට බවයි.

එසේ නම් වම් මොළයේ ක්‍රියාකාරිත්වයෙන් පමණක්‌ ලබාගන්නා විෂය දැනුම පමණක්‌ දරුවන්ට ලබාදීම ප්‍රමාණවත් නැත. ගණිතය විද්‍යාව පරිගණක වැනි දේවල් ඉගෙන ගැනීමට පමණක්‌ දරුවන් යොමු කරවීම තුළින් බලාපොරොත්තු වන්නේ දරුවන් ලවා කෙසේ හෝ විභාග සමත් කරවීමට ය. 5 වසරේ ශිෂ්‍යත්ව විභාගය සඳහා කුඩා දරුවන් වෙහෙස කරවීම ද යහපත් ක්‍රියාවක්‌ නොවේ. මෙම ශිෂ්‍යත්ව විභාගය හේතු කොටගෙන ළමා වියේ සිටින කුඩා දරුවන්ට ඔවුන්ගේ සුන්දර ළමා ලෝකය අහිමි වි ඇත. එසේ ම සෙල්ලම් වියේ සිටින දරුවෙකු ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වීමට නොහැකි වූ පමණින් එම දරුවා හෝ දැරිය අදක්‌ෂයෙක්‌ කියා කිව නොහැක. ඔහුට හෝ ඇයට ඉගෙන ගැනීමට ඕනෑ තරම් කාලය තිබේ. වම් මොළයේ ක්‍රියාකාරීත්වයෙන් ලබා ගන්නා විෂය දැනුම පමණක්‌ දරුවන්ට ලබාදීමට යාමෙන් අනාගතයේ දි මානසික රෝගීන් පිරිසක්‌ බිහිවීමට ඉඩ ඇත.

ගණිතය විෂයට අදක්‌ෂ කෙනෙකු වෙනත් කලා විෂයකට හෝ වෙන යම්කිසි ශිල්පයකට දක්‌ෂවිය හැක. විභාග සහතිකයකින් කෙනෙකුගේ නියම දැනුම අවබෝධය මැන බැලිය නොහැක.

සර්පයන්, මැඩියන් මත්ස්‍යයන් සිවුපාවුන් පක්‌ෂීන් වැනි සතුන්ට ආහාර ගැනීම වතුර බීම වැනි පුරුදු දේවල් සිතා බැලීමකින් තොරව කළ හැකිය. එසේම කෙනෙකු පතපොත ඇසුරෙන් වම් මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරගෙන ලබාගන්නා දැනුමද සීමිතය. ඒ තුළින් ලැබෙන්නේ ඒ පුරුදු පුහුණු වූ දෙය පිළිබඳව දැනුම පමණි. ඒ තුලින් පුද්ගලික ජිවිතය සාර්ථක වේ යෑයි කිව නොහැක.

මිනිසෙකු පරිපූර්ණ පුද්ගලයෙකු වීමට ශාරීරික සංවර්ධනය සදාචාර සංවර්ධනය, සමාජයීය සංවර්ධනය චලන සංවර්ධනය චිත්තවේගී සංවර්ධනය සෞන්දර්යය සංවර්ධනය යනාදිය තිබිය යුතුමය. ඒ සඳහා දකුණු මොළයේ ක්‍රියාකාරිත්වය ඉවහල් වේ.

පිටුවේ ආරම්භයට

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s